ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) විශේෂ මහා සභා රැස්වීම අද එහි මූලස්ථානයේදී ආරම්භ වූ අතර, අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම රැස්වීමට ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, නීතිඥ උදය ගම්මන්පිල, ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු නීතිඥවරු රැසක් සහභාගී වී සිටිති.

මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කළ යෝජනාවට අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජනාධිපති නීතිඥවරුන් සහ දේශපාලන පක්ෂ කිහිපයක් දැඩි විරෝධය පළ කර තිබේ.

එම විරෝධතා මධ්‍යයේ වුවද, ජූලි 27 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව අනුමත කර තිබේ.

මේ අතර දිනන දකුණ සාමුහිකය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ නවතම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි ආරම්භක පියවරක් බවයි.

එම සාමුහිකය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සහ පළාත් මට්ටමින් අභියාචනාධිකරණයේ කටයුතු පුළුල් කිරීමේ පරිපාලනමය ක්‍රියාවලියක් ලෙස රජය මෙම යෝජනාව ඉදිරිපත් කළද, එය විධායකයේ බලපෑම යටතේ ඉහළ අධිකරණවල කටයුතු සිදු කිරීමට ඉඩ සැලසිය හැකි බවට සැක මතු වන බවයි.