රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු බැලීමට දිනපතා අවසර ලබාදෙන ලෙස ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා වෙත වෙන වෙනම ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ, එවැනි අවසරයක් ලබාදෙන ලෙස කළ පෙර ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින සුරේෂ් සලේ මහතා මේ වනවිටත් CID භාරයේ සිටියද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ජූනි 10 වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔහුගේ බිරිඳට සහ පුත්‍රයාට රෝහල් බැලීමේ වේලාවන් තුළ දිනපතා හමුවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.
ඉන් අනතුරුව සුරේෂ් සලේ මහතාගේ බිරිඳ CID අධ්‍යක්ෂවරයා වෙත සෘජුවම ඉල්ලීමක් යොමු කරමින් දිනපතා බැලීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
එමෙන්ම නීතිඥ අසිත සිරිවර්ධන මහතා ද වෙනම ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම, ඔහුගේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අධිකරණයට අවශ්‍ය තොරතුරු වාර්තා කිරීම සඳහා නිරන්තර සම්බන්ධතාවක් අවශ්‍ය බව සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනයක නිරතව සිටින බවට වාර්තා වන බැවින් එම සම්බන්ධතාව තවදුරටත් වැදගත් වන බවයි.



