ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික දත්තවලින් පෙන්නුම් කරයි.

මහ බැංකුව විසින් අද (12) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙසත් සටහන් වී තිබේ.

ඒ අනුව, ඩොලරයේ විකුණුම් අගය රුපියල් 341 සීමාව ද ඉක්මවා ගොස් ඇත.

පෙර දිනය වූ ජුනි 11 වනදා ඩොලරයක ගැනුම් මිල රුපියල් 327.67ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 337.82ක් ලෙසත් වාර්තා වී තිබුණි.

නවතම දත්ත අනුව, පසුගිය දිනයට සාපේක්ෂව ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති අතර රුපියලේ අගය පහළ ගොස් ඇති බව පැහැදිලි වේ.

විනිමය අනුපාතිකවල මෙම වෙනස්කම් ආනයන, අපනයන, සංචාරක වියදම් සහ වෙළෙඳපොළ මිල ගණන් කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බැවින් ඒ පිළිබඳව ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ ජනතාවගේ අවධානය යොමුවී ඇත.