ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වායුගෝලීය තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වළාකුළු සහිත කාලගුණයක් අපේක්ෂා කෙරේ.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

විශේෂයෙන් තද වැසි පවතින ප්‍රදේශවල ජනතාව ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් බවද බලධාරීන් පෙන්වා දෙයි.