හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවකින් රුපියල් මිලියන 35ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, බැංකුවේ මූල්‍ය පරිපාලන ක්‍රියාපටිපාටි පිළිබඳ සවිස්තර වාර්තාවක් පොලීසිය වෙත ලබාදෙන ලෙස හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබේ.

හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා බැංකුවේ නිල මූල්‍ය ක්‍රියාදාමයන් සම්බන්ධ තොරතුරු අවශ්‍ය බව පොලීසිය අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුවය.

අදාළ බැංකු කළමනාකරු විසින්ද විමර්ශන කණ්ඩායමට අවශ්‍ය ලේඛන සහ තොරතුරු ලබාදීමට එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

මේ අතර, විමර්ශන අතරතුර සොයාගත් රුපියල් 1,747,000ක මුදලක් සහ එම මුදල සඟවා තිබූ බෑගයද පොලීසිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ සැකකරු විසින් එම මුදල් බැංකු පරිශ්‍රය තුළ යකඩ රාක්කයක් සහ බිත්තියක් අතර සඟවා තිබියදී සොයාගෙන ඇති බවය.

බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය විසින් අදාළ කරුණු අධිකරණයට වාර්තා කර තිබේ.

පසුගියදා මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බැංකුවේ සහකාර කළමනාකරු සම්බන්ධයෙන් දින හයක රැඳවුම් නියෝගයක් නිකුත් කර තිබූ අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරියා ජුනි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය ජුනි 03 වැනිදා පස්වරු 2.55ට පමණ බැංකු සේවකයෙකු ATM යන්ත්‍ර සඳහා තැන්පත් කිරීමට නියමිත මුදල් බෑග් දෙකක් බැංකුවේ පසුපස පිවිසුම ඔස්සේ රැගෙන යමින් සිටියදී, පුද්ගලයෙකු පැමිණ එම බෑග් බලහත්කාරයෙන් පැහැරගෙන පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

කොල්ලකෑමට ලක්වූ මුදල රුපියල් මිලියන 35ක් වන අතර, එය බැංකුවට අයත් ස්වයංක්‍රීය මුදල් ගනුදෙනු යන්ත්‍ර (ATM) සඳහා තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ මුදලක් බව අනාවරණය වී ඇත.

සිද්ධියෙන් දින දෙකකට පසු බැංකුවේ සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.