ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අද (අගෝස්තු 5) පෙරවරුවේ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු සහ අවසාද දොරටු විවෘත කර අතිරික්ත ජලය කොත්මලේ ඔයට මුදාහැරීම ආරම්භ කර තිබේ.
මහවැලි අධිකාරියට අනුව, මේ වන විට තත්පරයකට ඝන මීටර් 130ක පමණ ජල ප්‍රමාණයක් මුදාහරින අතර, ජලාශයට ලැබෙන ජල ප්‍රවාහය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලේ වේල්ලට පහළ ප්‍රදේශ සහ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ජනතාවට අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.
නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර, උලපනේ, ගම්පොළ, වෙලිගල්ල, ගැලියෝය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට තම ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇත.
ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව ඉදිරි පැය කිහිපය තුළ ජලය මුදාහැරීමේ වේගය වැඩි කිරීමට හෝ අඩු කිරීමට සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
ගං ඉවුරු ආශ්‍රිත සහ ගංවතුර අවදානම් ප්‍රදේශවල ජනතාව නිල නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, ආරක්ෂක අංශවල උපදෙස් පිළිපදින ලෙසත් බලධාරීන් ඉල්ලා සිටී.



