අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ මහර බන්ධනාගාරයේ ඇති වූ ගිනි තැබීම සහ කලහකාරී සිද්ධිය බන්ධනාගාර පද්ධතිය අඩපණ කිරීම අරමුණු කරගත් සංවිධානාත්මක කුමන්ත්‍රණයක කොටසක් විය හැකි බවට සැකයක් පවතින බවයි.

අද (අගෝස්තු 4) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සිද්ධිය අනෙකුත් බන්ධනාගාර වෙතද රැල්ලක් ලෙස ව්‍යාප්ත විය හැකි බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

ඕනෑම හදිසි තත්ත්වයක් පාලනය කිරීමේදී ජීවිත හානි අවම කර ගැනීම සඳහා අදාළ ආයතන අතර අවශ්‍ය සම්බන්ධීකරණය මේ වන විට ශක්තිමත් කරමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.

මීට අමතරව තවත් බන්ධනාගාර දෙක තුනක මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවට ලැබුණු තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් වෙත දැනටමත් ලබාදී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය රැඳවියන් අතර මත්ද්‍රව්‍ය ආශ්‍රිත ආරවුලක් හේතුවෙන් සිදුවූවක් වුවද, මහර බන්ධනාගාරයේ සිද්ධිය පාලන තන්ත්‍රයට එරෙහිව සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක කළ ප්‍රහාරයක් බවට සැක පවතින බවයි.

ඔහුට අනුව රැඳවියන් දහසකට ආසන්න පිරිසක් එකවර ගිනි තැබීම්වලට සම්බන්ධ වී ඇති අතර, එය සංවිධානාත්මක පිරිසකගේ සැලැස්මක් විය හැකි බවට විමර්ශන සිදු කෙරේ. එවැනි කුමන්ත්‍රණයක් තහවුරු වුවහොත් වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ගිනි තබා විනාශ කර ඇත්තේ මහජනතාවගේ බදු මුදලින් ඉදිකර ඇති දේපළ බවත්, ඒවා නැවත ගොඩනැගීමටද මහජන මුදල් වැය කිරීමට සිදුවන බවත් රැඳවියන් තේරුම් ගත යුතු බව ඔහු සඳහන් කළේය.

මේ අතර, අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් අමාත්‍ය ආනන්ද විජයපාල, පොලීසිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ නිලධාරීන් ඇතුළත් විශේෂ කමිටුවක් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත් කර තිබේ.