ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් වසර ගණනාවක් පුරා මුහුණ දුන් වැටුප් විෂමතා සහ උසස්වීම් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අංක 03/2014 (I) දරන මෙම චක්‍රලේඛය මඟින් විදුහල්පතිවරුන්ගේ ආරම්භක වැටුප් පියවර විධිමත් කිරීම සහ පවතින වැටුප් විෂමතා නිරාකරණය කිරීම අරමුණු කර ගෙන ඇත.

2026 මැයි 11 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු අනුමැතියට අනුව මෙම සංශෝධන ක්‍රියාත්මක කර ඇත.

වැටුප් ගණනය කිරීමේ නව ක්‍රමවේදයක්

නව චක්‍රලේඛයට අනුව, මීට පෙර ක්‍රියාත්මක වූ 03/2014 චක්‍රලේඛයේ ඇතැම් වගන්ති අවලංගු කරමින් ආයතන සංග්‍රහයට අනුකූල නව විධිවිධාන හඳුන්වා දී තිබේ.

ඒ අනුව, විදුහල්පතිවරුන්ගේ වැටුප් ගණනය කිරීම මින් ඉදිරියට “උසස් වීමක් ලෙස සලකා” සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ඇත.

මෙම පියවර මඟින් වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා අවම කර ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

උසස්වීම් සඳහා විශේෂ සහන කාලයක්

වැටුප් සංශෝධනයට අමතරව, උසස්වීම් සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමේදී පවතින ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගනිමින් විශේෂ සහන කාලසීමාවක් ද ප්‍රකාශයට පත් කර ඇත.

මෙම සහනය ප්‍රධාන වශයෙන් 2009 නොවැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවාගත් නිලධාරීන් සඳහා ලබාදී ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවය මත, අදාළ නිලධාරීන්ට තම උසස්වීම් සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම සඳහා 2027 දෙසැම්බර් 31 දක්වා කාලය ලබාදී තිබේ.

අමාත්‍යාංශය පවසන්නේ මෙම සංශෝධන මඟින් විදුහල්පති සේවයේ වෘත්තීය ප්‍රගතියට සහ පරිපාලන කාර්යක්ෂමතාවයට ධනාත්මක බලපෑමක් ඇතිවනු ඇති බවයි.