2008 වසරේ නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පුද්ගල ඝාතන පහක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල නවතම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවට අනුව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මෙම සිද්ධිවල සැකකරුවෙකු ලෙස නම් කර ඇත.

CIDය පවසන්නේ දීර්ඝ කාලයක් පුරා සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම මනුෂ්‍ය ඝාතන මාලාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගත් බවයි.

විමර්ශනවලට අනුව, 2008 ජනවාරි 09 වැනිදා මඩකලපුව කල්අඩි ප්‍රදේශයේදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, 2008 මැයි 22 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ 2008 අගෝස්තු 20 වැනිදා වව්නතිව් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීම මෙම නඩු විමර්ශනවලට අයත් වේ.

මෙම සිද්ධිවලට අදාළව සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර, පළමු සැකකරු විදේශගතව සිටින බවට තොරතුරු ලැබී ඇති බව CIDය අධිකරණයට දැනුම් දී ඇත.

අනෙක් සැකකරුවන් දෙදෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ පුද්ගලයන් වන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම ඝාතන පහේම තුන්වන සැකකරු ලෙස නම් කර ඇත්තේ පිල්ලෙයාන් බව අධිකරණ වාර්තාවල සඳහන් වේ.

ඔහු මේ වනවිට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාගේ ඝාතනය සම්බන්ධ වෙනම නඩුවක් යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

ඉදිරි නඩු දිනයේදී පිල්ලෙයාන් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතී.