2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මේ වනවිට වී මෙට්‍රික් ටොන් 5,390ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බව එම ආයතනය පවසයි.

වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සමන් පාලිත බණ්ඩාර මහතා සඳහන් කළේ පසුගිය ජූලි 13 වැනිදා ආරම්භ කළ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මෙම වී තොගය මිලදී ගෙන ඇති බවයි.

වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර එහිදී වී මෙට්‍රික් ටොන් 3,148ක් මිලදී ගෙන තිබේ.

ඊට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 567ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 620ක් මිලදී ගෙන ඇති අතර, අනෙකුත් ප්‍රදේශවල ද අස්වනු නෙලීමත් සමඟ මිලදී ගැනීම් ඉදිරියටත් සිදුකරනු ලබන බව සඳහන් වේ.

වී අස්වනු නෙලීමේ ප්‍රගතියට අනුව තවත් වී ගබඩා විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, ගොවීන්ට පහසුවෙන් වී අලෙවි කළ හැකි පරිදි දිවයින පුරා මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, වී අලෙවි මණ්ඩලය ගබඩා 148ක් දිවයින පුරා විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ඉදිරි සතිවලදී තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.