වත්තල කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට ආධාර හා අනුබල ලබාදුන් බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරන බවයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති අතර, වෙඩි තැබීම සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ඊට ආධාර ලබාදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

පසුගිය රාත්‍රියේ වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති සාදයක් අතරතුර සන්නද්ධ පුද්ගලයෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

පොලිසියට අනුව, මෙම ප්‍රහාරයේ ඉලක්කය ලෙස සැලකෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී ඇති "කුඩු රොශාන්" නමැති පුද්ගලයාය. කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාරය එල්ල කිරීමේදී ඉලක්කය වැරදී ඔහු අසල සිටි පුද්ගලයෙකුට වෙඩි වැදී මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඊට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.