මහනුවර – යාපනය A9 ප්‍රධාන මාර්ගයේ කටුගස්තොට, කලුගල ප්‍රදේශයේදී අද (15) පස්වරු 2.00ට පමණ සිදුවූ බරපතළ රිය අනතුරකින් පාසල් සිසු සිසුවියන් 17 දෙනෙකු සහ පාසල් වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
පොලීසිය පැවසුවේ පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික මගී බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මූලික විමර්ශනවලට අනුව, පෞද්ගලික බස් රථය මහනුවර දෙසට ගමන් කරමින් සිට ඇති අතර පාසල් වෑන් රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් සිටියදී මෙම ගැටීම සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ සිසුන් සහ රියදුරු වහාම ප්‍රතිකාර සඳහා කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරක් නිකුත් කර නොමැති අතර, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද පොලීසිය සඳහන් කරයි.
අනතුර හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයටද තාවකාලික බාධා එල්ල වූ අතර, පොලිස් නිලධාරීන් සහ හදිසි ආපදා අංශ එක්ව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇත.
සිද්ධියට හේතුව නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



