හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවකින් රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරියා ලබන ජුනි 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම නියෝගය හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ මහත්මිය විසින් නිකුත් කර ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් සැකකරුට අයත් යතුරුපැදිය නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියට අනුව භාරදීමටත්, සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියෝග කර තිබේ.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම ආරක්ෂක නිලධාරියා සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන බැංකුවේ සහකාර කළමනාකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි.
කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ ඔහු මෙම කොල්ලයට සම්බන්ධ නොවන බවත්, මේ දක්වා රැස් කර ඇති සාක්ෂි පිළිබඳ සම්පිණ්ඩන වාර්තාවක් කැඳවන ලෙසත්ය.
ATM යන්ත්‍ර සඳහා යොදාගැනීමට නියමිතව තිබූ රුපියල් කෝටි 3.5ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධ මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් සිදුකරමින් පවතී.
විමර්ශන කණ්ඩායම් මේ වනවිට ආරක්ෂිත කැමරා දර්ශන, මූල්‍ය වාර්තා සහ අනෙකුත් සාක්ෂි විශ්ලේෂණය කරමින් සිටින බව වාර්තා වේ.



