2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 5.1ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) නිවේදනය කර තිබේ.
දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත අනුව, 2015 ස්ථාවර මිල ගණන් යටතේ ගණනය කළ දළ දේශීය නිෂ්පාදිතය 2025 පළමු කාර්තුවේ රුපියල් බිලියන 3,476,664 සිට 2026 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 3,652,503 දක්වා ඉහළ ගොස් ඇත.
ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනම වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා අංශ මෙම වර්ධනය සඳහා දායක වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
කෘෂිකර්ම අංශය සියයට 1.1කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය සියයට 7.2ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබේ. සේවා අංශයද සියයට 3.4කින් වර්ධනය වී ඇත.
මේ අතර, වත්මන් මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ GDP අගය රුපියල් ට්‍රිලියන 9.16 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට 11ක වර්ධනයක් ලෙස සැලකේ.
ආර්ථිකයේ සමස්ත දායකත්වයෙන් සේවා අංශය සියයට 54.2ක ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර, කර්මාන්ත අංශය සියයට 27.2ක් සහ කෘෂිකර්ම අංශය සියයට 7.3ක් ලෙස වාර්තා වී ඇත.
මෙම දත්ත අනුව 2026 වසර ආරම්භයේදීත් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බව පෙන්නුම් කරයි.



