හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ දේශපාලන ක්‍රියාකාරික සුගීශ්වර බණ්ඩාර මහතා ජූලි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහු අද (18) අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගෙන රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත යොමු කර තිබූ බව වාර්තා වේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 2022 වසරේදී සුගීශ්වර බණ්ඩාර මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන අතරම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයක්ද දරා ඇති බවයි.

ඒ අනුව, එම තනතුරු දෙක සඳහා එකවර වැටුප් ලබාගත් බවට වන චෝදනා මත ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, රජයේ වාහන අවභාවිත කිරීම සහ රාජ්‍ය සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධ චෝදනා පිළිබඳවද වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.