හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සාලේ මහතා මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු තවදුරටත් ආහාර සහ ජලය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව ඔහුගේ බිරිඳ මනෝරි සාලේ මහත්මිය පවසයි.

අද (08) දින රෝහලේදී තම සැමියා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, සුරේෂ් සාලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළ මට්ටමක පවතින බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඔහු මේ වනවිටත් කිසිදු ආහාරයක් හෝ ජලය ලබාගෙන නොමැති අතර වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.

"ඔහු තවමත් කිසිම ආහාරයක් හෝ වතුරක් ලබාගෙන නැහැ. ඔහුගේ තත්ත්වය බරපතළයි. වෛද්‍යවරුන් ඔහුව නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා. සේලයින් ලබාදෙමින් ප්‍රතිකාර කරනවා. ඔහු සිය උපවාසය නවතා නැහැ," යනුවෙන් මනෝරි සාලේ මහත්මිය පැවසුවාය.

පවුලේ සාමාජිකයින් ද තහවුරු කර ඇත්තේ සුරේෂ් සාලේ මහතා මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

සුරේෂ් සාලේ මහතා පසුගිය පෙබරවාරි 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලට අදාළ චෝදනා මතය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු රැඳවුම් නියෝග යටතේ CID භාරයේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදුකරමින් සිටියි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, CID භාරයේ සිටියදී තමන්ට අමානුෂික හා කෲර ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් සුරේෂ් සාලේ මහතා "මරණය දක්වා උපවාසයක්" ආරම්භ කර ඇති බවයි.

පසුගිය දිනවල ඔහු හමුවීමට ගිය බිරිඳ, පුත්‍රයා සහ සහෝදරයා ද ඔහු ආහාර හා ජලය ප්‍රතික්ෂේප කරමින් උපවාසයක නිරතව සිටින බව තහවුරු කර තිබුණි.

වාර්තා වන අන්දමට, සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් පසුගියදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සුරේෂ් සාලේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රෝහල් බලධාරීන් විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.