2026 ජූනි මාසය සඳහා සිදු කළ නවතම ඩෙංගු අවදානම් තක්සේරුව අනුව, දිස්ත්‍රික්ක 14ක් පුරා ග්‍රාම නිලධාරී වසම් 538ක් ඩෙංගු ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

ඩෙංගු රෝගය පැතිර යාමේ ඉහළ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශ සඳහා විශේෂ ඩෙංගු මර්දන සහ වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

වාර්තාවට අනුව වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ බස්නාහිර පළාත වන අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් රැසක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයට අමතරව මහරගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන සහ ගෝතටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් අධි අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර යන ප්‍රදේශ ද මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පානදුර, වාද්දුව, කළුතර සහ පායගල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් ද අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් රැසක් ද මෙම අධි අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවාස සහ ආයතන පරිශ්‍රවල මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමට සහ සෞඛ්‍ය අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.