පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ ක්‍රීඩාංගණවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව,

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය

‘බී’ කොටසේ විස්සයි විස්ස තරගාවලිය

ආණ්ඩුකාර කුසලාන ක්‍රිකට් තරගාවලිය

යන තරගාවලිද තාවකාලිකව නතර කර ඇත.

කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව නව තරග කාලසටහන් ප්‍රකාශයට පත් කරන බවද ක්‍රිකට් ආයතනය දැනුම්දී තිබේ.

මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ මලල ක්‍රීඩා තේරීම් තරගාවලියද දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර ඇත.

දිවයින පුරා පවතින අධික වැසි, තද සුළං සහ ක්‍රීඩාංගණවල ජලය රැඳී පැවතීම හේතුවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයටද සැලකිය යුතු බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වේ.

කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි.