ඔස්ට්‍රේලියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් බීමතින් රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මරූබ්‍රා (Maroubra) ප්‍රදේශයේ පොලිසිය සිදුකළ හදිසි රථවාහන පරීක්ෂාවකදී වෝනර් අත්අඩංගුවට ගෙන ඔහුට බීමතින් රිය පැදවීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබුණි.

අදාළ නඩුව වේවර්ලි ප්‍රාදේශීය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වෝනර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා චෝදනාවට වරද පිළිගන්නා බවයි.

නඩු විභාගයේදී වෝනර්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දඬුවම් නියම කිරීමේදී යම් සහනයක් සලකා බලන ලෙසයි. එමෙන්ම, වෝනර්ටද රටේ සාමාන්‍ය පුරවැසියෙකුට අදාළ වන නීතිමය ක්‍රියාමාර්ගම අදාළ වන බවද ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, අද පැවති නඩු විභාගයට වෝනර් පෞද්ගලිකව පෙනී නොසිටි අතර, ඔහුට දඬුවම් නියම කිරීම අගෝස්තු 18 දක්වා කල් තබා තිබේ.

මේ අතර, මෙම සිද්ධිය හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන බිග් බෑෂ් ලීග් (BBL) තරගාවලියේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ නායකත්වය ඔහුට අහිමි විය හැකි බවට ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැත.