හෙරොයින් ග්‍රෑම් 3.074ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණය අද (30) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ කැකිරාව පාර, තලාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුට බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නඩුව වසර හතරකට අධික කාලයක් අනුරාධපුර පළාත්බද මහාධිකරණයේ විභාග වූ අතර, පැමිණිල්ල විසින් චෝදනා සැකයෙන් තොරව ඔප්පු කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
තලාව පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
ඒ අනුව, තලාව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවට අධිකරණය තීරණය කරමින් විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.



