ඩෙංගු ව්‍යාප්තිය ඉහළ අවදානමක් පවතින ප්‍රදේශ ආවරණය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද (05) දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කර ඇති මෙම මෙහෙයුම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ සෘජු උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව යුද්ධ හමුදාව සඳහන් කළේය.

මෙම වැඩසටහන සඳහා ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා සහ විවිධ ඒකක නියෝජනය කරමින් යුද්ධ හමුදා භටයින් 2,026 දෙනෙකු සහභාගී වී තිබේ.

කොළඹ ගුණසිංහපුර, පෞද්ගලික බස් නැවතුම්පොළ, පිටකොටුව පාවෙන වෙළෙඳපොළ, දෙල්ගොඩ බස් නැවතුම්පොළ, පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානය, කාක දූපත ළමා උද්‍යානය, හෝමාගම, කඩුවෙල, බත්තරමුල්ල, නවගමුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අවට ප්‍රදේශ, ගාල්ල, මාතර, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, වෙන්නප්පුව සහ පාලවිය ඇතුළු ප්‍රදේශ රැසක මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

මෙහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම, කැළිකසළ හා ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීම මෙන්ම සිවිල් ජනතාව, පාසල් සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද පැවැත්වූ බව යුද්ධ හමුදාව සඳහන් කළේය.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය වන බැවින් පරිසරය පිරිසිදුව තබා ගැනීමට සහ මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමට එක්වන ලෙසද සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.