කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන බලවතුන් අතර පවතින තරගය “අනිෂ්ට තරගකාරීත්වයක්” ලෙස හඳුන්වන මතවාද චීනය ප්‍රතික්ෂේප කරමින්, AI පාලනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව අවධාරණය කර තිබේ.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුවෝ ජියාකුන් සඳහන් කළේ තර්ජන, ගැටුම් සහ අනිෂ්ට තරගකාරීත්වය පිළිබඳ මතවාද ගෝලීය AI පාලන ක්‍රියාවලියට බාධා කරන අතර එවැනි ප්‍රවේශයකින් කිසිදු පාර්ශ්වයකට ප්‍රතිලාභයක් නොලැබෙන බවයි.
AI තාක්ෂණය විවෘත, සියලු පාර්ශ්ව ඇතුළත් සහ සමාජයට ප්‍රතිලාභදායක ආකාරයෙන් සංවර්ධනය කිරීම සඳහා රටවල් එක්ව කටයුතු කළ යුතු බවද චීනය පෙන්වා දෙයි.
මෙම ප්‍රකාශය නිකුත් වන්නේ වඩාත් බලවත් AI පද්ධති වේගයෙන් සංවර්ධනය කිරීමෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳ අමෙරිකාවේ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් පවතින පසුබිමකය.
Anthropic ප්‍රධාන විධායක නිලධාරී Dario Amodei ඇතුළු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන් AI සංවර්ධනය සඳහා වැඩි ආරක්ෂක පියවර සහ දැඩි නියාමනයක් අවශ්‍ය බවට අදහස් පළ කර තිබේ. කෙසේවෙතත්, අමෙරිකාව AI සංවර්ධනයේ වේගය අඩු කළහොත් චීනයට තාක්ෂණික වාසියක් ලබාගත හැකි බවටද අවධානය යොමු වී ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් AI ක්ෂේත්‍රයේ චීනයට වඩා ඉදිරියෙන් සිටීම අමෙරිකාවට වැදගත් බව අවධාරණය කර තිබේ.
මේ අතර, උසස් මට්ටමේ පරිගණක චිප් තාක්ෂණය චීනයට ලබාගැනීම සීමා කිරීම සඳහා අමෙරිකාව අපනයන පාලන ක්‍රියාමාර්ග පනවා ඇතත්, චීනය සිය දේශීය AI කර්මාන්තය, විවෘත මූලාශ්‍ර තාක්ෂණ සහ පරිගණක යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටී.
AI තාක්ෂණයෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳව චීනයද අවධානය යොමු කර ඇති අතර, තාක්ෂණික සංවර්ධනය සහ ජාතික ආරක්ෂාව අතර සමතුලිතතාවයක් පවත්වාගෙන යාම සඳහා නීති, ආචාරධර්ම සහ අවදානම් වැළැක්වීමේ ක්‍රමවේද ශක්තිමත් කළ යුතු බව චීන බලධාරීන් පවසයි.
ගෝලීය AI පාලනයේ තම භූමිකාව පුළුල් කිරීමටද චීනය උත්සාහ කරමින් සිටින අතර, ජූලි මාසයේදී World AI Cooperation Organisation පිහිටුවීමට පියවර ගෙන තිබේ. චීන ජනාධිපති ෂී ජින්පින් විවෘත මූලාශ්‍ර AI තාක්ෂණය සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර සහයෝගීතාවක් සඳහාද යෝජනා ඉදිරිපත් කර ඇත.
කෙසේවෙතත්, AI තාක්ෂණය ජාතික ආරක්ෂාව සහ අනාගත ආර්ථික බලය සඳහා අතිශය වැදගත් ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති බැවින්, එහි සංවර්ධනය මන්දගාමී කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සහ චීනය අතර පුළුල් එකඟතාවකට පැමිණීම ඉතා අපහසු වනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මූලාශ්‍රය: BBC / Agencies



