ඩීසල් මිල ගණන් පසුගිය සති කිහිපය තුළ දෙවරක් ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පෞද්ගලික බස් සංගම් සහ රජයේ බලධාරීන් අතර සාකච්ඡා ආරම්භ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යවරයාගේ කාර්යාලය අතර අදහස් හුවමාරුවක් සිදු විය.

කෙසේවෙතත්, එහිදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා බස් සංගම් නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ ඉදිරි දිනවලදී විශේෂ සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

පසුගිය මාසය තුළ ඩීසල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මැයි 3 වැනිදා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දැමුණු අතර, මැයි 30 වැනිදා තවත් රුපියල් 15කින් වැඩි කිරීමත් සමඟ මාසයක් ඇතුළත ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ ගොස් ඇත.

පෞද්ගලික බස් සංගම් පෙන්වා දෙන්නේ මෙම ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දෛනික මෙහෙයුම් වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි. ඉන්ධන, අමතර කොටස්, නඩත්තු වියදම් සහ සේවක වැටුප් ඇතුළු පිරිවැය අඛණ්ඩව ඉහළ යන තත්ත්වයක් තුළ වත්මන් ගාස්තු යටතේ සේවා පවත්වාගෙන යාම අපහසු වී ඇති බව ඔවුන් සඳහන් කරයි.

මේ හේතුවෙන් බස් සංගම් කිහිපයක් පසුගියදා රැස්වී තීරණය කර තිබුණේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සියයට 5ක අන්තර්වාර බස් ගාස්තු සංශෝධනයක් හෝ විකල්පයක් ලෙස ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමකි.

අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් අවශ්‍ය බවයි. අදාළ සාකච්ඡා සාර්ථක නොවන්නේ නම් ලබන සතියේදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීමට බස් සංගම් සූදානමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ප්‍රවාහන ක්ෂේත්‍ර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ බස් ගාස්තු සංශෝධනයක් සිදු වුවහොත් එය දෛනිකව පොදු ප්‍රවාහනය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සෘජු බලපෑමක් ඇති කළ හැකි බවයි. එමෙන්ම ජීවන වියදම, භාණ්ඩ ප්‍රවාහන පිරිවැය සහ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහිද එහි බලපෑම් දක්නට ලැබිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේවෙතත්, බස් ගාස්තු ඉහළ දැමීමක් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, අමාත්‍යවරයා සහ බස් සංගම් අතර පැවැත්වීමට නියමිත ඉදිරි සාකච්ඡාවලින් පසුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.