පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් නව නීතිමය වර්ධනයක් සිදුව තිබේ.

ඒ අනුව, කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් එම පෙත්සමට අදාළව අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම අතරමැදි පෙත්සම මගින් කාදිනල් හිමිපාණන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, සුරේෂ් සලේ මහතාගේ පෙත්සමට මැදිහත්ව කරුණු දැක්වීමට තමන්ට අවසර ලබාදෙන ලෙසත්, අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත්ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ විමර්ශන සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විටත් අධිකරණය හමුවේ විවිධ නඩු සහ පෙත්සම් විභාග වෙමින් පවතී.