සහරාන් හෂීම් ඇතුළු ISIS මතවාදයට අනුව ක්‍රියා කළ බව කියන පුද්ගලයින් 129 දෙනෙකුගේ නාම ලේඛනයක් 2019 ජනවාරි මාසයේදී රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කර තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවටත් අද (17) අභියාචනාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කෙරිණි.
මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසිනි.
ඔහු අධිකරණයට දන්වා සිටියේ, ජනක් ද සිල්වා කොමිෂන් සභා වාර්තාවට අනුව රාජ්‍ය බුද්ධි සේවය විසින් ISIS මතවාදයට සම්බන්ධ බවට සැලකෙන පුද්ගලයින් 129 දෙනෙකු පිළිබඳ බුද්ධි තොරතුරු 2019 ජනවාරි මාසයේදී CID වෙත යොමු කර තිබූ බවයි.
එමෙන්ම, එවකට CID භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වූ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන්ට දේශීය සහ විදේශීය බුද්ධි අංශවලින් ලැබුණු අනතුරු ඇඟවීම් තිබියදීත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවටද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
පාකිස්තාන බුද්ධි අංශය සහ පසුව ඉන්දීය RAW බුද්ධි අංශය මගින් ද ප්‍රහාරයක් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් ලබාදී තිබූ බවත්, එම තොරතුරු නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්ද අධිකරණයේදී අවධානය යොමු විය.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ජූලි 21 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.



