මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු වස පානය කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා සිරමැදිරිය තුළ පිහිටි වැසිකිළියේදී වස පානය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඝාතන චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කිරීමෙන් අනතුරුව නුවරඑළිය මහාධිකරණය විසින් අද (29) ඔහුට මරණ දඬුවම නියම කර ඇති බව සඳහන් වේ.

එම නඩුවේදී මෙම පුද්ගලයා ඇතුළු සිව්දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති බවද වාර්තා වෙයි.

වස පානය කිරීමෙන් අනතුරුව ඔහුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇති අතර, මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ අදාළ ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.