මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇති අතර, ඩෙංගු ආශ්‍රිත මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) පවසයි.
එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, මේ දක්වා ඩෙංගු රෝගීන් 68,071 දෙනෙකු දිවයින පුරා වාර්තා වී තිබේ.
ඒ අතරින් ජූනි මාසය තුළ පමණක් ආසාදිතයින් 21,538 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය මෙම වසරේ වැඩිම මාසික ඩෙංගු වාර්තාව ලෙස සටහන් වී ඇත.
ජූලි මාසයේ පළමු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 12,692 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පළාත් මට්ටමින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 35,823ක් ලෙස දැක්වේ.
දකුණු පළාතෙන් ආසාදිතයින් 10,657ක්, සබරගමුව පළාතෙන් 5,756ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 5,560ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීම, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ජනතාවට යළිත් අවධාරණය කරයි.



