මෙම වසර තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 63,835 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩෙංගු ආශ්‍රිත මරණ 42ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ, ඊයේ (08) වන විට මෙම සංඛ්‍යාලේඛන වාර්තා වී ඇති බවයි.
ඔහුගේ ප්‍රකාශයට අනුව, ජූලි මාසය තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 8,450 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, වර්ෂාපතනයත් සමඟ රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බව පෙන්නුම් කරයි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදීද විශේෂ ඩෙංගු මර්දන සහ මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද වෛද්‍ය කන්නන්ගර මහතා සඳහන් කළේය.
මේ අතර, නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොකර වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.



