ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (21) දිනයේදී තවදුරටත් දැඩි ලෙස අවප්‍රමාණය වී තිබේ.
අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354.03ක් ලෙස සටහන් වූ අතර, ගැනුම් මිල රුපියල් 342.63ක් ලෙස වාර්තා විය.
මෙය 2023 වසරේ මාර්තු මාසයෙන් පසු රුපියල ඩොලරයට සාපේක්ෂව වාර්තා කළ අවම අගය ලෙස සැලකෙයි.
විශේෂත්වය වන්නේ ඊයේ (20) ඩොලරයක විකුණුම් මිල රුපියල් 342ක් ලෙස පැවති අතර, පැය 24ක් ඇතුළත එය රුපියල් 12කින් ඉහළ යාමයි.
ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම අද දින ඩොලරයේ විකුණුම් මිල රු. 354 ආසන්නයට පැමිණ තිබූ අතර, රුපියලේ මෙම කඩාවැටීම හේතුවෙන් ආනයනික භාණ්ඩ මිල ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවටද ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි.
විශේෂයෙන්ම ඉන්ධන, කිරිපිටි, ඖෂධ, වාහන අමතර කොටස් සහ අනෙකුත් ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම, මැදපෙරදිග අර්බුදය, විදේශ විනිමය ඉල්ලුම ඉහළ යාම සහ ආනයන වියදම් වැඩිවීම මෙම තත්ත්වයට බලපා ඇති බවයි.
මේ අතර, රජය සහ මහ බැංකුව විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම, IMF සහ ADB ආධාර ලබාගැනීම සහ ආනයන කළමනාකරණය හරහා රුපියලේ පීඩනය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත්, රුපියලේ අඛණ්ඩ අවප්‍රමාණය ඉදිරියේදී ජීවන වියදම සහ උද්ධමනය තවදුරටත් ඉහළ දැමිය හැකි බවටද අනතුරු ඇඟවෙයි.



