දැනට ක්‍රියාත්මක වන QR ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදය ඉදිරියේදී තවත් දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පවතින ඉන්ධන අර්බුදය සහ විදේශ විනිමය පීඩනය සැලකිල්ලට ගනිමින් ඉන්ධන පරිභෝජනය තවදුරටත් සීමා කිරීම අවශ්‍ය වී ඇති බවයි.

ඔහු පෙන්වා දුන්නේ QR ක්‍රමය සහ ඉන්ධන කෝටා ක්‍රමය හඳුන්වාදීම හරහා ඉන්ධන පරිභෝජනය යම් මට්ටමකින් අඩු කිරීමට හැකි වූවත්, එය තවමත් අපේක්ෂිත මට්ටමට පැමිණ නොමැති බවයි.

අමාත්‍යවරයා අනාවරණය කළේ මේ වසරේ ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 186ක් වැය කළ අතර, මැයි මාසය වන විට එම වියදම ඩොලර් මිලියන 524ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටව යන බවත්, එය ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරන බවත් ඔහු සඳහන් කළේය.

එබැවින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඩිජිටල් අමාත්‍යාංශය එක්ව QR ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම පියවර මඟින් ඉන්ධන සඳහා වැයවන විදේශ විනිමය ප්‍රමාණය අවම කරමින් ආර්ථිකයට එල්ලවන පීඩනය යම් මට්ටමකින් සමනය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.