වෙබ් අඩවියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නොමිලේ නිකුත් වූ බවට හඳුනාගත් 2026 FIFA ලෝක කුසලාන ප්‍රවේශපත්‍ර 60කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට FIFA සංවිධානය පියවර ගෙන තිබේ.
FIFA නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියේ ගෙවීම් සම්බන්ධ දෝෂයක් හේතුවෙන් අදාළ ප්‍රවේශපත්‍ර “ඇමරිකානු ඩොලර් 0”ක් ලෙස නිකුත් වී ඇති බවයි.
එම දෝෂය සම්බන්ධයෙන් කනගාටුව පළ කළ FIFA සංවිධානය, බලපෑමට ලක්වූ ප්‍රේක්ෂකයින්ට නිවැරදි මුදල ගෙවා එම ප්‍රවේශපත්‍ර නැවත ලබාගැනීමට අවස්ථාව ලබාදී ඇති බවද සඳහන් කළේය.
මෙම සිදුවීම FIFA ලෝක කුසලාන ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති තවත් විවාදාත්මක කරුණක් ලෙස සැලකෙයි. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් සහ නිව්ජර්සි ප්‍රාන්තවල නීතිපතිවරුන් විසින් පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය වී ඇත්ද යන්න පිළිබඳවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
FIFA ප්‍රකාශ කළේ මෙම වැරදි මිල ගණන් යටතේ ප්‍රවේශපත්‍ර නිකුත් වී ඇත්තේ මැයි 21 වනදා බවයි.
2026 FIFA ලෝක කුසලාන තරගාවලිය ලබන සතියේ මෙක්සිකෝ නගරයේදී ආරම්භ වීමට නියමිත අතර, තරග 104ම විකිණී අවසන් බව FIFA මීට පෙර ප්‍රකාශ කළද ඇතැම් තරග සඳහා තවදුරටත් ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙමින් පවතී.
මේ අතර FIFA හි නව මිල නියම කිරීමේ ක්‍රමවේදය සහ ප්‍රවේශපත්‍ර නැවත අලෙවි කිරීමේ වැඩසටහන් සම්බන්ධයෙන්ද ක්‍රීඩා ලෝලීන් අතර විවිධ අදහස් පළවෙමින් පවතී.



