ශ්‍රී ලංකා අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා සකස් කළ අවසන් වාර්තාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති අමාත්‍යාංශීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

අධ්‍යාපන සභාව පිහිටුවීම සම්බන්ධයෙන් පත් කළ අනු කාරක සභාවේ සභාපතිවරයා වන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අදාළ අවසන් වාර්තාව කාරක සභාව වෙත ඉදිරිපත් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කළ විද්වත් කමිටුවක් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව සකස් කළ නිරීක්ෂණ, නිර්දේශ සහ යෝජනා මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.

වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ කාරක සභා සාමාජිකයින්ගේ අදහස් සහ යෝජනා ද සලකා බැලීමෙන් අනතුරුව එය ඒකමතිකව අනුමත කිරීමට කාරක සභාව තීරණය කළේය.

මෙම රැස්වීමට අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී තිබුණි.