ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ජැමෙයිකාවේ කිංස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තරග නිලධාරීන්ට සිදුවිය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක ෂායි හෝප් පළමුව පන්දු යැවීමට තීරණය කළේ පවතින වළාකුළු සහිත කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
කෙසේ වෙතත් උදෑසන සිට පැවති වැසි තත්ත්වය හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමද මිනිත්තු 30කින් ප්‍රමාද වූ අතර, තරගය ආරම්භ කිරීමට නියමිත මොහොතට පෙර යළිත් වැසි ඇදහැලීම ආරම්භ විය.
පළමු එක්දින තරගය ජයගෙන 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය වැදගත් වූ අතර, තරගාවලිය සම කිරීමට නම් කොදෙව්වන්ට මෙම තරගය ජයගැනීම අත්‍යවශ්‍යව තිබුණි.
එහෙත් දිගින් දිගටම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරගය පවත්වාගෙන යාමට නොහැකි වූ අතර අවසානයේ තරගය අත්හැර දැමීමට තීරණය කෙරිණි.
ඒ අනුව තරගාවලියේ තීරණාත්මක අවසන් එක්දින තරගයට පෙර ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තවදුරටත් පෙරමුණේ පසුවෙයි.



