2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කර තිබේ.

මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනිණි.

බහුතර තීන්දුව ප්‍රකාශ කළ ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් පෙන්වා දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමෙන් විත්තිකරු සිය නීතිමය හා රාජකාරි වගකීම් පැහැර හැර ඇති බවයි.

විනිසුරුවරුන් සඳහන් කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයින් 268 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 586 දෙනෙකු තුවාල ලැබූ අතර, එවකට රටේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතාට ජනතාවගේ ආරක්ෂාව සහ මහජන සාමය තහවුරු කිරීමේ වගකීම පැවරී තිබූ බවයි.

එම වරදේ බරපතළ ස්වභාවය සැලකිල්ලට ගනිමින් ඔහුට මරණ දඬුවම නියම කිරීමට බහුතර විනිසුරු මඩුල්ල තීරණය කළේය.

කෙසේවෙතත්, විරාජ් වීරසූරිය මහතා සිය සුළුතර තීන්දුවෙන් සඳහන් කළේ, විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.

මේ අතර, එම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තීන්දුවද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා අධිකරණය පැය හතරකට අධික කාලයක් වැය කළේය.