හිටපු ශ්‍රී ලංකා නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම පැවසුවේ, 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ බවට චෝදනා එල්ල වී ඇති යෝෂිත රාජපක්ෂ මහතා විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බවයි.

එමෙන්ම, එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට එක්සත් රාජධානියේ බ්‍රිටැනියා රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්ද දූෂණ චෝදනා එල්ල වී ඇති බව කොමිසම සඳහන් කළේය.

ඒ අනුව, අද පෙරවරු 10.05ට පමණ කොමිෂන් සභා පරිශ්‍රයේදී විමර්ශන නිලධාරීන් විසින් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අල්ලස් කොමිසම විසින් සිදුකරගෙන යයි.