මීගොඩ හයිලෙවල් මාර්ගයේ දන්සලක් අසල සිදු වූ බිහිසුණු රිය අනතුරින් මියගිය පුද්ගලයින් අතර එකම පවුලේ ඥාතීන් සිව් දෙනෙකු සිටින බව වාර්තා වේ.
මියගිය පිරිස අතර පිළියන්දල වෑවල පල්ලිය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පී.බී. ඉන්ද්‍රාණි මහත්මිය, ඇයගේ 35 හැවිරිදි දියණිය නවීෂා නිලක්ෂි, 38 හැවිරිදි බෑනා ලසික ප්‍රියංකර නානායක්කාර මහතා සහ 15 හැවිරිදි ඥාති දියණියක්ද ඇතුළත් වේ.
වාර්තා වන ආකාරයට, නවීෂා නිලක්ෂි සහ ඇයගේ සැමියා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, වෙසක් නිවාඩුව වෙනුවෙන් පිළියන්දල පිහිටි මවුපියන්ගේ නිවසට පැමිණ තිබුණි.
අනතුර සිදුවූ දිනයේදී ඉන්ද්‍රාණි මහත්මිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා විසින් එම යුවළ නැවත අවිස්සාවේල්ල නිවස වෙත ඇරලීමට ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇති අතර, මගදී හමුවූ රොටි දන්සලක පෝලිමේ රැඳී සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇත.
කෙසේවෙතත්, ත්‍රීරෝද රථය තුළ රැඳී සිටි ඉන්ද්‍රාණි මහත්මියගේ ස්වාමිපුරුෂයා සහ දියණියගේ වැඩිමහල් දරුවා අනතුරෙන් දිවි බේරාගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේ මෙම අනතුර චේතනාන්විත ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බවයි.
අදාළ සැකකරුට එරෙහිව ලබාදිය හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමටත් පොලීසිය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.



