සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සහ ගිනිඅවි සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලධාරීන්ට අවසර ලබා දී තිබේ.

2025 පෙබරවාරි 19 වනදා කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, නීතිඥයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි ගණේමුල්ල සංජීව වෙත වෙඩි තබා ඝාතනය කළේය.

මෙම ඝාතනය දිවා කාලයේ අධිකරණ භූමිය තුළම සිදුවීම හේතුවෙන් එය රට පුරා දැඩි ආන්දෝලනයකට ලක්වූ අතර, අධිකරණ ආරක්ෂාව සහ සංවිධානාත්මක අපරාධ ජාල පිළිබඳව බරපතළ ප්‍රශ්න රැසක් මතු කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී, රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරු අනුව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 13 වනදා රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී “ගම්පහ ඔස්මන්” අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශගත සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බවයි. එමෙන්ම ඝාතනය සඳහා භාවිත කළ ගිනිඅවි සැපයීම මඟින් සැකකරු අපරාධයට සෘජු සහායක් ලබාදී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී විදේශීය නිෂ්පාදිත රීපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 10ක් සහ Magazine දෙකක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.

මෙම සිද්ධියත් සමඟ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර පවතින සම්බන්ධතා, විදේශගත අපරාධකරුවන්ගේ බලපෑම් සහ මෙරට අපරාධ ජාලවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ආරක්ෂක අංශ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ඝාතනය සැලසුම් කළ ප්‍රධාන ජාලය හඳුනාගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.