2027 වර්ෂයේ සිට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා නව විධිවිධාන සහ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සෑම වසරකම චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලබන අතර, මෙම නව ක්‍රමවේදයේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනය සඳහා සමාන හා සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීමයි.
එමෙන්ම ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කිරීම සහ අක්‍රමිකතා අවම කිරීම සඳහා ද මෙම නව උපදෙස් මාලාව සකස් කර ඇති බව රජය පවසයි.
මෙම චක්‍රලේඛය සකස් කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා හා අදහස් සැලකිල්ලට ගෙන ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද මෙම ක්‍රියාවලියට ඇතුළත් කර ඇති අතර, පාසල් ඇතුළත් කිරීමේ පද්ධතිය වඩාත් විධිමත් හා සාධාරණ කිරීම එහි අරමුණ බව සඳහන් වේ.
2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ නව උපදෙස් මාලාව නිකුත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.



