දිවයින පුරා පවතින අධික වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගංවතුර සහ ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වී ඇති අතර, මාර්ග ගමනාගමනයට සහ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ උඩුපිල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් දෙල්ගොඩ සිට බැලුම්මහර දක්වා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම වේයන්ගොඩ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාර්තා වේ.
මේ අතර හංවැල්ල - නිට්ටඹුව ප්‍රධාන මාර්ගයද ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.
පොලිසිය සහ ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කරන ලෙසත්, ජලයෙන් යටවූ මාර්ග භාවිතා කිරීමෙන් වළකින ලෙසත්ය.
හලාවත නාත්තන්ඩිය ප්‍රදේශයේ හැමිල්ටන් ඇළ මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
එමෙන්ම හලාවත නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යටවීමත් සමඟ ජනතාවගේ දෛනික කටයුතු වලටද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේද ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින අතර, බෝධිරාජ මාවත, බටුගෙදර, ඇලපාත, අංගම්මන, තිරවානා කැටය, මුද්දූව සහ මුවගම ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
රත්නපුර සිවලි ක්‍රීඩාංගනයද සුළු වශයෙන් ජලයෙන් යටවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මේ අතර පන්නල - කුළියාපිටිය මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවී ඇති අතර, එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැඩි අපහසුතා මතුවී තිබේ.
එම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී චන්ද්‍ර බිම්බාරාම විහාරස්ථානයේ රන්වැඩ ඇතුළු ඉදිකිරීම් කොටස් කිහිපයකටද ආපදා තත්ත්වය හේතුවෙන් හානි සිදුව ඇති බව වාර්තා වෙයි.
කොළඹ සහ අවට ප්‍රදේශවලද කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ.
වැල්ලම්පිටිය සහ කොහිලවත්ත ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ රැසක් මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර, කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි සහ ගිගුරුම් සහිත තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නායයෑම් සහ හදිසි ගංවතුර අවදානම් පවතින ප්‍රදේශවල විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.



