හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ සිටියදී වධ හිංසාවන්ට හෝ අමානුෂික සැලකීම්වලට ලක්වූ බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතුද සිදුකරන බවයි.
සුරේෂ් සලේ මහතාගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව, ඔහු රඳවා සිටි සිරමැදිරිය පිළිබඳව විශේෂ නිරීක්ෂණයක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකර ඇත.
එහිදී සුරේෂ් සලේ මහතා රඳවා සිටි බව කියන සිරමැදිරිය තුළ නිසි වාතාශ්‍රය නොමැතිවීම ඇතුළු මූලික පහසුකම් කිහිපයක අඩුපාඩු නිරීක්ෂණය වී ඇති බව කොමිෂන් සභාව පවසයි.
එම කරුණු සම්බන්ධයෙන් CID බලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන් වේ.
විමර්ශනවල කොටසක් ලෙස, සිරමැදිරිය ආසන්නයේ රඳවා සිටි අනෙකුත් රැඳවූවන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති අතර, අදාළ නිලධාරීන්ගෙන්ද තොරතුරු සටහන් කරගෙන ඇත.
මේ අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතාට ලබාදෙන වෛද්‍ය පහසුකම් සහ ප්‍රතිකාර පිළිබඳවද කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක වේ.



