කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුළ නීතිවිරෝධී ලෙස රැඳී සිටි විදේශීය ජාතිකයින් 14 දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, විශේෂ වැටලීමක් අතරතුර මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර වලංගු වීසා නොමැති චීන ජාතිකයින් 10 දෙනෙකු, මැලේසියානු ජාතිකයෙකු, චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු සහ මැලේසියානු ජාතික කාන්තාවකද සිටින බව වාර්තා වේ.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, අදාළ හෝටල පරිශ්‍රය තුළ පරිගණක සහ සයිබර් අපරාධ සඳහා භාවිත කළ හැකි විශාල මෙහෙයුම් මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා මූලික ඉදිකිරීම් සිදු කරමින් තිබූ බවයි.

එම ස්ථානය තුළ අධිවේගී අන්තර්ජාල පහසුකම්, පරිගණක ජාලකරණයට අදාළ උපකරණ සහ විශාල පිරිසක් එකවර රැඳී සිටිය හැකි ආකාරයේ පහසුකම් සකස් කරමින් සිටි බවටද පොලීසිය සැක පළ කරයි.

තවද මෙම කණ්ඩායම පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වී එම ක්‍රියාකාරකම් සැලසුම් කර තිබූ බවටද විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

පසුගිය සති කිහිපය තුළ ගාල්ල, හික්කඩුව, මිදිගම, බොරලැස්ගමුව සහ තවත් ප්‍රදේශ රැසකින් සයිබර් සහ මූල්‍ය අපරාධවලට සම්බන්ධ බවට සැක කරන විදෙස් ජාතිකයින් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟ ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුම් දැඩි කර ඇත.

විශේෂයෙන් සංචාරක වීසා මත මෙරටට පැමිණ, නීතිවිරෝධී අන්තර්ජාල මූල්‍ය ජාවාරම්, ආයෝජන වංචා සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන සයිබර් අපරාධ සඳහා ශ්‍රී ලංකාව භාවිත කිරීමේ ප්‍රවණතාවක් පිළිබඳවද ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක අතර, නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.