මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මතුව ඇති ආර්ථික අවදානම් හමුවේ ශ්‍රී ලංකා බලධාරීන් ගත් කඩිනම් ක්‍රියාමාර්ග සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට උපකාරී වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපගෙයෝර්ගියු මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (30) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. එම මාධ්‍ය හමුව පැවැත්වුණේ IMF දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කිරීමෙන් අනතුරුවය.
මෙම වසර අවසානයේදී ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන IMF විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ (Extended Fund Facility) හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවද ඔහු අනාවරණය කළේය.
රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
ගෝලීය ආර්ථිකයට බාහිර කම්පන තවදුරටත් බලපාන බැවින්, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වගකීම්සහගත ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාව විය යුතු බවද IMF දූත මණ්ඩල ප්‍රධානී සඳහන් කළේය.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග සුදුසු සහ කාලෝචිත ඒවා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



