ශ්‍රී ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ජූලි මාසයේ ගතවූ පළමු දින 12 තුළ පමණක් ඩෙංගු රෝගීන් 13,293 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) පවසයි.
එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, ජූලි 12 වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජූලි 11 වන දින වාර්තා වී තිබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 68,071ක් වූ අතර, ඊට පසු දින තුළ පමණක් නව රෝගීන් 601 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
පළාත් මට්ටමින් තවමත් වැඩිම ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එහි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,118ක් ලෙස සටහන් වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කය වැඩිම ආසාදිතයින් වාර්තා කරන ප්‍රදේශය බවට පත්ව ඇති අතර, එහි 14,112 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 13,791 ආසාදිතයින් වාර්තා වී තිබේ.
මෙම වසරේ වැඩිම ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ මාසය ජූනි වන අතර, එම මාසයේදී පමණක් 21,538 රෝගීන් හඳුනාගෙන තිබේ.
මේ අතර, මෙම වසරේ මේ දක්වා ඩෙංගු ආශ්‍රිත මරණ 47ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීම, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම බවයි.



