රුපියල් ලක්ෂ 64.08ක පමණ වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදේශිකයින් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද (30) අලුයම මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ගුවන්තොටුපොළේ ‘කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති’ (Green Channel) මාවත ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් ඔවුන් පරීක්ෂාවට ලක් කර ඇත.

අත්අඩංගුවට පත් පිරිස අතර චීන ජාතික කාන්තාවක්, චීන ජාතික පිරිමි පුද්ගලයෙක් සහ හොංකොං ජාතිකයෙක් සිටින අතර, ඔවුන් සියලුදෙනා ව්‍යාපාරිකයන් බවත් වයස අවුරුදු 25ට ආසන්න බවත් රේගු නිලධාරීහු සඳහන් කළහ.

ඔවුන්ගේ ගමන් මලුවල තිබූ බිස්කට් පෙට්ටි තුළ බිස්කට් ඉවත් කර ඒවායේ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 42,720ක්, එනම් පැකට් 2,136ක්, සඟවා තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය රාජසන්තක කර තිබේ.

එමෙන්ම සැකකරුවන් තිදෙනාට රුපියල් 220,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇත.