ඉරාන ප්‍රහාර හේතුවෙන් ආරක්ෂක හේතු මත තාවකාලිකව වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කර ඇති බව එරට සිවිල් ගුවන් සේවා සාමාන්‍ය අධිකාරිය (GACA) නිවේදනය කර තිබේ.

බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයකින් එම අධිකාරිය සඳහන් කළේ, කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සාමාන්‍ය ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බවයි.

ගුවන් ආරක්ෂාව සම්බන්ධ තත්ත්වය පැය 24 පුරා නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් කුවේට්, ජෝර්දානය සහ බහරේන්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කිරීමත් සමඟ කලාපීය ආරක්ෂක අවදානම් ඉහළ යාම හේතුවෙන් මෙම තාවකාලික ගුවන් කලාප වසාදැමීම සිදුකර තිබුණි.

ආරක්ෂක තත්ත්වය යළි ඇගයීමෙන් අනතුරුව සහ අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් පසුව ගුවන් කලාපය යළි විවෘත කිරීමට කුවේට් බලධාරීන් තීරණය කර ඇත.

මේ වනවිට කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුවන අතර, කලාපීය තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.