කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මරණ පරීක්ෂණයට අදාළව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ උදාර මුහන්දිරම් මහතා සාක්ෂි සඳහා කැඳවීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (02) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් එම නීතිඥවරුන් දෙදෙනාට සිතාසි නිකුත් කරනු ලැබීය.

මේ අතර, මරණකරුට අයත් ජංගම දුරකථනයේ දත්ත විමර්ශනය කිරීම සඳහා එය FBI මාර්ගයෙන් ඇමෙරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කිරීමට අධිකරණ අමාත්‍යාංශය හරහා කටයුතු කරමින් සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

එමෙන්ම මරණකරුගේ නිවසේ තිබී සොයාගත් කොළ පැහැති බඳපටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමද අධිකරණය විසින් අනුමත කර තිබේ.

නඩුව සම්බන්ධයෙන් නියෝග ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සාක්ෂි ආඥා පනත සහ අදාළ නීතිමය ප්‍රතිපාදන අනුව මරණකරුට ලබාදුන් උපදෙස් හෝ ඔහුගේ නීතිඥවරුන් වෙත ලබාදුන් ලිඛිත සහ වාචික කරුණු අනාවරණය නොකළ යුතු බවයි.

අදාළ නීතිඥවරුන් දෙදෙනා ලබන 05 වැනිදා අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබාදිය යුතු බවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, නඩුවේ වැඩිදුර විභාගය එදින දක්වා කල් තැබීය.