අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ අද (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව, මැයි 01 සිට අත්පත් කරගෙන සිටි මල්වානේ නිවසින් ඉවත් වීමට විශ්වවිද්‍යාල සිසුන් පිරිස එකඟ වී තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (IUSF) සඳහන් කළේ, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින මල්වානේ ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත පවරා දීමට අග්‍රාමාත්‍යවරිය එකඟතාව පළ කළ බවයි.

අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ IUSF කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා සඳහන් කළේ, අදාළ දේපළ ඉක්මනින් UGCයට භාරදීමට රජය තීරණය කර ඇති බවයි.

එම එකඟතාව මත මල්වානේ නිවසේ රැඳී සිටි සිසුන් වහාම එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඔහු පැවසීය.

පසුගිය මැයි 01 වනදා සිට මෙම නිවස අත්පත් කරගෙන සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිස, එම දේපළ විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රයෝජනය සඳහා යොදාගත යුතු බවට ඉල්ලීම් කරමින් විරෝධතාවයේ නිරතව සිටියහ.

මෙම සිදුවීම පසුගිය සති කිහිපය තුළ දේශපාලන සහ සමාජ වශයෙන් විශාල අවධානයක් දිනාගත් අතර, රජය සහ ශිෂ්‍ය සංවිධාන අතර සාකච්ඡා කිහිපයක්ද පැවැත්වුණි.

අග්‍රාමාත්‍යවරිය සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලබාදී ඇති බවත්, එමඟින් ගැටලුවට සාමකාමී විසඳුමක් සඳහා මාර්ගය විවෘත වී ඇති බවත් IUSF පෙන්වා දෙයි.

මේ අතර, අදාළ දේපළ UGCයට පවරාදීමෙන් අනතුරුව එය අධ්‍යාපනික හෝ ශිෂ්‍ය සුබසාධන කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බවටද වාර්තා පළවෙයි.