හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, තමන් සහ තම දරුවන් නිරීක්ෂණය කළ බවට චෝදනා කරමින් අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ලට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සම්බන්ධ බවට සැක කෙරෙන සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු විසින් තමන් සහ තම දරුවන් දෙදෙනාගේ චලනයන් නිරන්තරයෙන් නිරීක්ෂණය කර ඇති බව ඇය සඳහන් කර ඇත.
පසුගිය 20 වැනිදා සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු විමසීම සඳහා කොළඹ ජාතික රෝහලට ගිය අවස්ථාවේදී ඇයගේ 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා අදාළ පුද්ගලයා විසින් අනුගමනය කර ඇති බව පැමිණිල්ලේ දැක්වේ.
එමෙන්ම, ඔවුන්ගේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ජංගම දුරකථනයකින් ලබාගෙන ඇති බවටද චෝදනා එල්ල කර ඇත.
මනෝරි සලේ මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පුද්ගලයා මීට පෙරද කොළඹ ජාතික රෝහල ආසන්නයේ සහ CID මූලස්ථානය අසල දක්නට ලැබුණු බවයි.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර අදාළ පුද්ගලයා හඳුනාගෙන, ඔහු කාගේ උපදෙස් මත කටයුතු කළේද යන්න සොයා බලන ලෙස ඇය අධිකාරියෙන් ඉල්ලා තිබේ.
මේ අතර, 2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සලේ මහතා මේ වනවිටත් අධිකරණ නියෝග මත CID භාරයේ රඳවා සිටින අතර, උපවාසයක් ආරම්භ කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අදාළ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් නිකුත් වී නොමැත.



