නිරිතදිග මෝසම් සමයත් සමඟ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත.

කෙටි කාලීන ඩෙංගු මර්දන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද මෙහිදී තීරණය කර තිබේ.

එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීම, නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීම සහ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති කමිටු සහ මහජන ආරක්ෂක කමිටු හරහා ඩෙංගු මර්දන කටයුතු ශක්තිමත් කිරීම පිළිබඳවද එකඟතාව පළ වී තිබේ.

සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ පාසල්, කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බැවින් එම ස්ථාන ඉලක්ක කරගත් කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි.

තවද, ඩෙංගු ව්‍යාප්තිය වරින් වර ඉහළ යාම වළක්වා ගැනීම සඳහා ගත යුතු දිගුකාලීන සැලසුම් සහ තිරසාර මර්දන ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.