මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් ආරංචි මාර්ග අනුව, බරපතළ තුවාල ලැබූ තවත් රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

එමෙන්ම, තුවාල ලැබූ රැඳවියන්ගෙන් 10 දෙනෙකු මීගමුව රෝහලේදී ශල්‍යකර්ම සඳහා යොමු කිරීමට නියමිත අතර, සෙසු පිරිස එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මූලික තොරතුරුවලට අනුව, බන්ධනාගාරය තුළ සිදුවූ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවට සැක පළ කෙරේ. කෙසේ වෙතත්, සිද්ධියට හේතුව සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මෙතෙක් සිදුකර නොමැත.

සිද්ධියෙන් අනතුරුව බන්ධනාගාරයේ ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) කැඳවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.